2011-08-19

සිතට එන දේ ඔහේ ලිවුවා..කැමතිනම් කියවන්න...

අද දවසේ වෙලාව යන්නෙත් නෑ වගේ.කොහෙවත් යන්න වත් හිතෙන්නෙ නෑ.අහස කලු කොරොලා.දැන් වහි,දැන් වහි වගේ.ඒ ඇස්සේ බඩත් අශ්පෙට් කොරලා.ටොයිලට් පැත්තේ එහෙම රවුමක් දාල ඒ කෙරුවාවල් අහවර කොරලා ඇදට වෙලා හිටියා..

පාඩම් කරනවද කියලා හිතුවත් ඒකට හිත දුන්නෙ නෑ.ඊට් පස්සේ හිතුනේ කොම්පීතරේ දාල බ්ලොග් කියවනවද කියලා.ඔන්න ඒකට නම් එහෙම් පිටින්ම හිත ගියා.මේ දවස් වල ඒකත් ලේසි නෑ.හදිසියෙ වත් කොම්පීතරේ දාල කියලා අම්ම දැන ගත්තොත් බර බරේ තමයි.

උදේ පාන්දරම බැනුම් කෝටියයි.මොකද ගිය මාසේ විදුලි බිල කියද දන්නවද? දන්නෙ නෑ නේ...රුපියල් 2000 ත් පැනලා.රුපියල් දෙදහක් කියන්නේ ....කජු ඇටද කොස් ඇටද....රුපියල් 2000 කියන්නේ අපේ පවුලට දැනෙන ගානක්.හරියට කියනවනම් බර ගානක්..

අපේ තාත්තලාට රජයේ ජොබ් නෑ.ත්‍රි වීල් දෙයියෙක් තමයි ඉන්නෙ(අපේ කාලයේ ත්‍රි වීල් රජා.)ඒකත් දැන් සති දෙකකට කලින් අහක යන ත්‍රි වීල් එකක් ඔලුවට(අපේ ති වීල් එකේ උඩට) කඩාගෙන වැටුනා.සති දෙකක ඉදන් ඒක හදනවා.ඒක හදන්නත් බර ගානක් යනවා කියලා අපේ තාත්තා අම්මට කියනවා මම අහගෙන හිටියා..තත්තත් දැන් සති දෙකක ඉදන් ගෙදර.මටත් අත පය හකුලන් ගෙදරට වෙලා ඉන්න පුලුවන් ඇ..

ඉතින් මෙහෙම වෙනකොට කොහොමද කොම්පීතරේ දාගෙන නිදහසේ අන්තර්ජාලයේ සැරි සරන්නේ.ආ කොහොමද???...තව එක අවුරුද්දක් ඉස්කෝලෙ බඩ ගාන්න ඕනි.ඊට පස්සේ කොහොම හරි ජොබ් කට්ටක් හොයා ගන්න ඕනි.මට හැමදාම ගෙදරින් කකා බිබී ඉන්න බෑ නේ...

කොල්ලෙක් උනහම අනිවා ජොබ් එකක් කරන්න ඕනි නේ.ලොකු ලොකු පවුල් වල උදවියට නම් ඕනි නෑ.අපි පොඩි උදවිය නේ.ඉතින් පවුලේ දෙන්නෙක් වත් ජොබ් කරන්න ඕනි පොඩි පවුලක් සාමන්‍ය මට්ටමෙන් හරි ජිවත් වෙන්න...තාත්තගේ ත්‍රි වීල් එක අද තියෙයි හෙට නැති වෙයි(සති 2 ඉදන් නෑ)...
-------------------------------------------------------------------------------------

 __________A/L ජිවිතේ_________

උසස් පෙළ කරන්න ඉස්කෝලෙ යන්න තියන්නෙ තව හරියටම අවුරුද්දයි.එක අවුරුද්දක් ඉවර වුනා දන්නෙම නැතුව.හරියට නිකන් අද ඊයේ වගේ.කියන්න කණගාටුයි තවම හරියට පාඩම් කරන්නවත් සෙට් උනේ නෑ.කොච්චර පාඩම් කරනවා,විභාගේ ගොඩ දාගන්නවා කියලා හිතුවත් පරණ ගති පැවතුම් අත්හරින්න අමාරුයි.....(අපි කවදද නිදි මරාගෙන පාඩම් කලේ).......O/L වලටවත් මම නිදි මරාගෙන පාඩම් කලේ නෑ.ඒ උනාට ගොඩ..

11 වසරේ හැම පාරම 25 වෙනියගෙන් උඩට ඇවිල්ලම නෑ.මම කිවුවේ මේ වාර විභාග වලින්.ඒ උනාට සම්මාන තුනක් එක්ක විභාගේ ගොඩ දාගත්තා.සමහර විට වාසනාවට හරි අවාසනාවට හරි වෙන්න ඇති..O/L කරන දවස් වල හැම තිස්සෙම හිතුනේ O/L විභාගේ ලියලා ඉවර උනාට පස්සේ මොකද කරන්නේ..ෆේල් උනොත් පවුලේ අයට මුහුණ දෙන්නෙ කොහොමද කියලා..... 
දැනුත් කල්පනා වෙන්නේ A/L ලියලා ඉවර උනාට පස්සේ මොකද කරන්නේ, ෆේල් උනොත් පවුලේ අයට මුහුණ දෙන්නෙ කොහොමද...අන්න ඔය වගේ දේවල්..


මේ නිවාඩු මාසේ ඉවර වෙන්න කලින් එඩිසන් බංගලාව පැත්තේ සංචාරයකට කොල්ලො ටික සෙට් කරගන්න බලන්න ඕනි.ආය ඉතින් ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ වැඩේ අමාරු කරනවනේ..ආ.....සමහරු දන්නවද දන්නෙත් නෑ එඩිසන් බංගලාව මොකක්ද කියලා..එඩිසන් බංගලාවේ ඇතුලාන්ත කතාව මොකක්ද කියලා මම දන්නෙත් නෑ..බංගලාව පැත්තේ සංචාරයක් ගියොත් හොයාගෙන එන්න පුලුවන් වෙයි.මම දන්නෙත් එඩිසන් බංගලාවක් තියනවා කියලා විතරයි...
එඩිසන් ගියොත් හොද ෆන් එකක් ගත හැහිවෙයි..පහල පින්තූරේ තියන්නේ එඩිසන් බංගලාව තමයි...මේකේ පහළ වතු තියනවා...එක එක ජාති වගා කරලා තියන්නේ(එළවලු,පළතුරු,තව තව දේවල්)ඒවයේ රස බලන්නත් බැරි වෙන්නෙ නෑ...

ආ ඉන්න චුට්ටි තොරතුරු ටිකක් හොයා ගත්තා..

"මේම බංගලාව පිහිටල තියෙන්නෙ කොළඹ බදුල්ල පාරෙ, හපුතලේ නගරයෙන් හැරිල යන්න ඕන, වාහනයක යනවනම් ලේසියි, මෙය නිමකරන්නට අවශ්‍ය කරන සියළුම අමුද්‍රව්‍ය ගෙනෙල්ල තියෙන්නෙ පිටරටින් කියල කිව්ව. 1931 තමයි ඉවර කරල තියෙන්නෙ. ලස්සන තැනක් දැනට ක්‍රිස්තියානි අයගේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරනව

ඔබ හරි,ඒ කාලයෙත් මේකට විදුලිය තිබිල තියෙනව( විදුලි ජනකයක් මගින්), ස්නානය සදහා උනුවතුර හදාගෙන තියෙනව ස්භාවික විදියට, ඇතුලත සීතල නැති කරන්න දර දහනය සදහා අවශ්‍ය වාතය ලබාගෙන ඇත්තෙ ඉහලින් පෙනෙන්නට ඇති කවුළු වලින් කියල කිව්ව"
                                                                     තොරතුරු: www.beautiful-srilanka.blogspot.com/


ඇ මම මේ මොනාද ලියලා තියන්නේ.බඩේ අමාරුවටත් එක්ක ඔහේ ලියලා.දැන් ඉතින් මොනා කරන්නද.ලියපු එක කවුරු හරි කියවන්නෙ නැතැයි..බඩේ අමාරුව තවම තියන නිසා ලිය වෙයි තව ටිකක්.ඒත් පොස්ට් එක දිග වෙන විතරයි නේ වෙන්නේ

තව එකක් තියනවා කියන්න. කලින් තිබ්බ ටෙම්ප්ලෙට් දෙයියා මාත් එක්ක තරහා වෙලා පට්ට ස්ලොව් කරන්න ගත්තා...මම හිතන්නෙ  වෙන වෙබ් වලින් හොයා ගත්ත නිසා හරි මගේ අතින් HTMLඑක වැරදියටවත් EDIT උනාද මන්දා (මෝඩ කමට)......ඒක නිසා බ්ලොගර් එකෙන්ම දෙන ටෙම්ප්ලෙට් එකකට මාරු උනා......

..එහෙනම් මම නවතිනවා....

2011-08-13

මට සමා වෙයං ලේන් පැටියෝ.........

ඊයේ මට හරි කණගාටු දවසක්.ඒ මොකද කියලා කියන්නයි මම මේ හදන්නේ.
ඒ දැනට මාස 3 කට පෙර අපේ පවුල හා සම්බන්ද වුනු පුංචි ලේන් පැටියෙක් නිසා.මේ ලේන් පැටියා මට හම්බ වුනේ අපේ ගෙදරට අල්ලපු වත්තේදි.ඌ හොදටම අසරණව,අතරමං වෙලා හිටියේ.මගේ සත්ව කරුණාව නිසාම පැටියාව ගෙදර ගෙනාවේ හොදින් රෑක බලා ගෙන දවසක නිදහස් කරන්නම් සිතා ගෙනය.නමුත් පැය,දින,මාස ගනන් ගෙවී යද්දී අපටත් නොදැනිම ලේන් පැටියා පවුලේ සාමජිකයෙක් බවට පත් වෙලා තිබුණා.ලේන් පැටියට අපි නැතුවත්, අපිට ලේන් පැටියා නැතුවත් ඉන්න බැරි වුනා.විශේෂයෙන් මට.ඒ බැදිම කොහොම ඇති වුනාද කියලා මට තවම හිතා ගන්න බැ. 

කොයි මොහොතේ බැලුවත් ලේන් පැටියා කාගෙ හරී අතේ හුරතල් වෙනවා.අපි කවුරුත් ඒකට හරි ආසයි.මට මතක් වෙනවා පැටියා මගේ අතේ හිතලට තුරුලු වෙන හැටි.සෙල්ලම් කරන හැටි. මේ මතකය හැමදාම මගේ හිතේ තියේවී.මම හිතුවේ හැමදාමත් ලේන් පැටියා අපිත් සමග ඉදි කියලා.පැටියට තාම හරි හැටියකට කන්නවත් බෑ.කිරි විතරයි බිව්වේ.ඉතින් කොහොමද තනියම ජිවත් වෙන්න ඉඩ හරින්නේ පැටියට තනියම ජිවත් පුලුවන් දවසක අපිව දාල යයි කියලා මගේ හිත හැම තිස්සෙම කිව්වා.ඒත් මෙච්චර ඉක්මනට.....!!!!!!

ලේන් පැටියා කිරි බොන හැටි අපි කොච්චර ආසාවෙන්ද බලන් හිටියේ.දුවනවා,පනිනවා ඒ කාලේ කොච්චර සුන්දරද...මේක ලියන විටත් මගේ ඇහැට කදුලු උණන තරම්.ඒ තරමට ඒ අතිතයට මම ආදරෙයි.

"ලේන් පැටියා වටේ පූසෙක් කරක් ගහනවා"  කියලා අපේ අම්මා සැරයක් දෙසැරයක් කිව්වත් මම ගණන් නොගත්තේ පූසාගේ විශේෂ හැසිරිම් රටාවක් මාහට දර්ශණය නොවු නිසාය.

මේ සිද්දිය උන දවසේ අපේ ගෙදර කවුරුත් හිටියේ නෑ.හිටියනම් ලේන් පැටියා තාමත් අපිත් එක්ක හුරතල් වෙනවා.ඒක ඉතින් පැටියගේ වෙලාව තමයි.වෙනදා වගේ ලේන් පැටියව මේසේ උඩ බත් කූඩය ඇතුලෙන් තියලා තමයි අපි කොහෙ ගියත් යන්නේ.අනික හැමදාම වගේ දොර ජනේල් සියල්ල වහල ගියත් මේ දවසේ.එක් ජනේලයක් වහලා යන්න අමතක වෙලා.

කවුද හිතන්නේ ගෙදරින් කාල,බීලා පූසා මෙහෙම දෙයක් කරයි කියලා.අපි කවුරුත් නැති වෙලේ අර ජරා පූසා උපරිම ප්‍රයෝජනේ අරන්. 

අපි ටවුමට ගිහින් එන්න පැය 2,3, විතර ගියා.එතකොට වෙන්න තියන සේරම දේවල් වෙලා ඉවරයි.අපි ගෙදර ඇතුලු වෙද්දිම මේසේ ලග වීදුරුවක් බිම වැටිලා කැඩිලා තිබුනා.බැලින්නම් අසරණ ලේන් පැටියා එතන නෑ.මුලු ගේ ම පිරලා බැලුවත් පැටියා නෑ. ලේන් පැටියා අපිව දාල ඌගේ නිදහස සොයා ගෙන යන්න ඇති කියලා හිතලා අපි බොහොම අමාරුවෙන් හිත හදා ගත්තා.
මේ සිද්දිය වෙලා පැය 6,7 කට පසු මිදුල අතුගාමින් සිටි අම්මා එක පාරටම කැගන්න ගත්තා ලේන් පැටියා ඉන්නවා කියලා.මම ඉක්මණට දුවගෙන ආව ලේන් පැටියව ආදරෙන් වඩා ගන්න.දුවගෙන ආ මට ඇස් අදහා ගන්න බැරි සිදුවීමක් තමයි දර්ශණය උනේ.ලේන් පැටියා ගේ නිසළ මළ සිරුර බිම වැටි තිබ්බා.මට එතන දිම ඇඩෙන්න ආවත් මම හිත තද කරගෙන හිටියා.මොකද පැටියව ගෙදරට ගෙනාවේ මම

ඊට ටික වෙලාවකට පස්සේ  අඩි පාරවල් කිහිපයකින් දැන ගන්න ලැබුනේ පූසා තමයි මේ වැඩේ කරලා තියන්නේ කියලා.මම ඒ මොහොතේ පූසාව හෙවුවත් එකව මට හොයා ගන්න බැරි උනා.සමහර විට පුසව මට ඒ වෙලාවේ අහුව්නානම් මම මොනා කරයිද කියලා හිතාගන්න බෑ.එච්චරටම ආවේගයකින් මම හිටියේ.

සිද්ද වෙච්ච දේ සිදු වෙලා ඉවරයි. තවත් මොකෙක් හරි සතෙකුට ලේන් පැටියා ආහාරයක් වෙන්න කලින් පාලු ස්තානයක ලේන් පැටියාගේ නිසල මල සිරුර මිහිදන් කලා.

මට සමා වෙන්න ලේන් පැටියෝ.මට ඒ වගකීම හරියට ඉශ්ට කරන්න බැරි උනා.මම ඒ වගකීම හරියට ඉශ්ට කලානම් අදත් ලේන් පැටියා අපිත් එක්ක ඉන්න තිබුනා.

2011-08-01

උපන් දිනේ කාපු කට්ට....!!!


 කොහොමද.අද මගේ ජිවිතයේ වැදගත් දවසක්.මේ නොදරුවා නොදැනුවත්වම වයස 18 ලබලා ඕං.මං දැන් ලොකු ලමයෙක් නොවැ.මට අද හලී සතුටුයි.තවත් සතුටක් තියනවා ඒක තමයි ඊයේ දවසේ මගේ බ්ලොග් එකේ හිට්ස් 1000 පැන්න.ඒකට මම හැම දෙනාටම ස්තුතියි.දවස තිස්සෙම අරයගෙන් මෙයාගෙන් සුබ පැතුම් එනවා ඉවරයක් නෑ.උදේ පොඩි කට්ටකුත් කෑවා ආය උපන් දිනේ කියලා නෑ.උදේම අම්මත් එක්ක ගෙන යන්න උනා හොස්පිට්ල්(ඉස්පිරිතාලය)එකට අම්මට සනිප නෑ. වෙනදා උපන් දිනේට කන කිරිබතත් අද නැති වුනා.උදෙම දුක් සීන්..
ඒ විතරක් ඇ මම එච්චර ටවුමේ රස්තියාදුවට කැමති නෑ.ඔය ක්ලාස් තියන දවසට ඇරුනම. උදේ පැය 3 විතර ඉස්පිරිතාලයේ කට්ටක් කාල ගෙදර යන්න හිතාගෙන ටවුමට එනකොට ටවුම පුරා ත්‍රිවීල් කාරයෝ උද්ගෝෂණයක්(ස්ට්‍රයික්) පටන් ගෙන.හැම තැනම බ්ලොක් වෙලා පාරේ යන්නත් බෑ.මට නේද ඉතින් මල...!!ඇයි යකෝ කර ගන්න මල මගුලක් පාරේ යන මිනිස්සුන්ට කරදරයක් නොවී කරගනින් කො.

 මම ඉන්නේ බදුල්ලේ.කලින් කියලා නැතුව ඇති.බදුල්ල පැත්තෙන් බ්ලොග් කාරයෝ අඩුයි කියලා මට හිතෙන්නේ.මම දැකලා තියෙන්නේ බ්ලොග් දෙක තුනක්.මම නොදැකපු ඔබ දැක ඇති බ්ලොග් තව තියෙන්න පුලුවන්.ටවුමේ ඉදන් අපේ ගෙවල් පැත්තට එන්න ත්‍රිවීල් තියනවා.බස් වලට වඩා තියෙන්නෙ ත්‍රි වීල් තමා.අපි ඒවට කියන්නෙ "දහයේ කෑලි" කියලා.අපි ඉතින් ඕවට රුපියල් දහයක් දීලා තමයි ටවුමට එහෙම එන්නේ.ඔය සමහරුන් ගේ පැතිවලත් ඇති මෙහෙම ත්‍රි වීල්.බැලින්නම් බොලේ මේ වීල් වලට එරෙහිව තමයි අනිත් ත්‍රි වීල් කාරයෝ උද්ගෝෂණය කරන්නෙ "දහයේ කෑලි" දුවන ත්‍රිවීල් නිසා "හයර්" දුවන ත්‍රිවීල් වලට බඩේ පාර වදිනවා කියලානේ ඔය කියන්නෙ..ඒ මේ හුට්ටප්පර වලින් "දහයේ කෑලි" දුවන ත්‍රිවීල් එකක් වත් හොයා ගන්න නෑ.හැංගිලාද කොහෙද..!! 
දැන් ඉතින් ගාටපන්කෝ පයින් කියලා අම්මා වත් එක්කගෙන.අම්මටත් දැන් ටිකක් අමාරුයි වගේ. හති දම දමා බාගයක් දුර යනකොට දෙයියෝ බුදුන් දැක්කා වගේ සීමා සහිත ලංගම බස්රථයක් ඇවිල්ලා අපිව දා ගත්තා.ඊට පස්සේ ඉතින් දෙයියනේ කියලා ගෙදරට ගොඩ උනා.ඔන්න ඕකයි මගේ උපන් දින සිදු වීම.මේ දවස නම් මට කවදාවත් අමතක නොවී තියෙයි.
මොන වැඩේ,සිදුවීම තිබුනත් බ්ලොග් පැත්තේ එන එක නම් නවතින්නෙම නෑ.ඒක නිසා අදත් ආව ඕං